භූගෝලීය දර්ශකය යනු කුමක්ද?

එය භාණ්ඩ සඳහා භාවිතා කරනු ලබන නමක් හෝ ලකුණක් වන අතර භාණ්ඩවල සම්භවය නිශ්චිත ස්ථානයක (රටක් හෝ රටක යම් ස්ථානයක්) ඇති නිසා ඒවායේ විශේෂ තත්ත්වයන්, ආවේණික ලක්ෂණයන් හෝ කීර්තියක් ඇති බව පෙන්නුම් කරයි. (ලංකා‍ තේ, ලංකා කුරුඳු,  ලංකා නිල් මැණික්, නුවරඑළිය තේ, රුහුණේ මී කිරි ආදී)

ආරක්ෂා කළ යුත්තේ ඇයි ?

ඒවා ගුණාත්මකභාවයේ ආවේණික ලක්ෂණ හෝ කීර්තියේ සංකේත වන බැවින් අදාල භාණ්ඩ වාණිජකරණය කිරීමට ඒවා බෙහෙවින් ඉවහල් වේ. ඒවා අවභාවිතය හෝ දුර්නිරූපණය භූගෝලීය දර්ශකයේ හිමිකරුට මෙන්ම පාරිභෝගිකයාට ද අනර්ථකාරී වේ.

වෙළඳ නාමයට සාපේක්ෂව භූගෝලීය දර්ශකය

ලකුණක් යනු වෙනස් ව්‍යවසායන්හි භාණ්ඩ හෝ සේවා වෙන් කොට හඳුනාගැනීමට උපකාර වන සලකුණකි. භූගෝලීය දර්ශකයෙන් යම් නිපැයුමක සම්භවය කිසියම් නිශ්චිත ස්ථානයක බවත් එහි විශේෂ ගුණාංග ගතිලක්ෂණ හා කීර්තිනාමයක් ඇති  බැව් පාරිභෝගිකයන්ට හා වෙළඳුන්ට පෙන්නුම් කර දැනුම් දෙයි.

ආරක්ෂා කරනු ලබනුයේ කෙසේද ?

අදාල ස්ථානයෙන් සැබැවින්ම මූලාරම්භ නොවන භාණ්ඩ සඳහා භූගෝලීයදර්ශක යොදා ගැනීම තහනම් කිරීම මගින් නීතිය  එම දර්ශක ආරක්ෂා කරයි. එසේ යොදාගැනීම අත්හිටුවමින් ඉන්ජන්ෂන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට හැකිය. ශ්‍රී ලංකාවේදී ලියාපදිංචිය නොමැතිව භූගෝලීය දර්ශක ආරක්ෂා කරනු ලැබේ. අසාධාරණ තරඟකාරිත්වය සහ  සහතික ලකුණු සහ සාමූහික ලකුණු පිළිබඳ නීතිය යටතේ ද භූගෝලීය දර්ශක ආරක්ෂා කළ හැක. භූගෝලීය දර්ශන සම්බන්ධයෙන් දුර්නිරූපණයද වරදක් වන්නේය.

පනතේ සංශෝධනයනට අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ භූගෝලීය දර්ශක විශේෂිතව භූගෝලීයදර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකි වන අතර එය 2017 වසරේදී ඇරඹෙනු ඇත.

විදේශයන්හි ආරක්ෂාව

නිශ්චිත රටෙහි ජාතික නීතිය  යටතේ ලෝක වෙළඳ සංවිධානයේ සියලු සාමාජික රටවල ශ්‍රී ලංකාවේ භූගෝලීය දර්ශක ආරක්ෂා කරනු ලැබිය හැක.  (උදා :  ඉන්දියාවේදී භූගෝලීය දර්ශක, භූගෝලීය දර්ශක නීතිය යටතේ ලියාපදිංචි කළ හැකි අතර එක්සත් ජනපදයේදී එය සහතික ලකුණක් ලෙස  ලියාපදිංචි කිරීමට හැකිය.)