වෙළෙඳ ලකුණක් යනු කුමක්ද ?

ලකුණක් -  වෙළෙඳ ලකුණක් හෝ සේවා ලකුණක් යන්නෙන් එක් ව්‍යවසායක භාණ්ඩයක් හෝ සේවාවක්, වෙනත් ව්‍යවසායන්ගේ භාණ්ඩ හෝ සේවාවන්ගෙන් වෙන් කර දැක්වීම පිණිස උපයෝගී කරගනු ලබන යම් දෘශ්‍යමාන ලාංඡනයක් අදහස් වේ. වෙළෙඳ ලකුණක් භාණ්ඩ හා අදාල වන අතර සේවා ලකුණක් සේවාවන්ට අදාල වේ. ඊට අමතරව තවත් ලකුණු වර්ග දෙකක් තිබේ. එනම් සහතික ලකුණු හා සාමූහික ලකුණු වශයෙනි. සහතික ලකුණු යනු අනෙක් අයට  ලකුණක් භාවිතා කිරීම සදහා අවසර දෙන එම ලකුණුයේ හිමිකරුවා විසින් සහතික කරන ලද පරිදි භාණ්ඩ හො සේවාවන්හි නිශ්චිත ප්‍රමිතිය සපුරාලන ලකුණක් වේ.  සාමූහික ලකුණක් යනු ලියාපදිංචි හිමියාගේ පාලනය යටතේ ලකුණුය පාවිච්චි කරන විවිධ ව්‍යවසායන්ගේ භාණ්ඩවල සම්භවය හෝ වෙන යම් පොදු ආවේණික ලක්ෂණයක් වෙන් කොට දැක්වීමෙහිලා උපයෝගී වන්නා වූ යම් දෘශ්‍යමාන ලාංඡනයක් වේ.

වෙළෙඳ ලකුණක් සමන්විත වන්නේ කවරකින්ද ?

ලකුණක්, වචනයක් / වචන, සංකේතයක් / සංකේත, උපක්‍රමයක් / උපක්‍රම, අකුරු, අංක, ලකුණු, වාසගම් හෝ භූගෝලීය ලකුණුය, භාණ්ඩ හෝ බදුන් ආදියේ වර්ණ සහ හැඩතල වල සංයෝජනයක් හෝ සැකසුමක් ආදියෙන් සමන්විත විය හැකිය.  දෘශ්‍යමාන වෙළෙඳ ලකුණක් සැම විටම එක් ව්‍යවසායක භාණ්ඩ හෝ සේවා, වෙනත් ව්‍යවසායක භාණ්ඩ හෝ සේවාවලින්  වෙන් කර දැක්විය යුතුය. (එය ආවේණික විය යුතුය)

වෙළෙඳ ලකුණක කර්තව්‍ය

  • ලකුණු හිමිකරුගේ භාණ්ඩ හෝ සේවා අන් අයගේ භාණ්ඩ හෝ සේවාවලින් වෙන් කොට හදුනා ගැනීම
  • භාණ්ඩ හෝ සේවාවන්හි මුලාශ්‍රය දැක්විම
  • හිමිකරුවකුගේ භාණ්ඩ හෝ සේවා ප්‍රත්‍යෙක කිරීම
  • හිමිකරුට පාරිභෝගිකයන් කරා ළගා වීමට හැකියාව ඇති කිරීම
  • පාරිභෝගිකයන්ට වෙළද පොලේදී  තේරීමක් ලබා දීමට උපකාර කිරීම, ආදී කර්තව්‍ය කිහිපයක් ඊට ඇත.

ලියාපදිංචි කළ හා ලියාපදිංචි නොකල වෙළෙඳ ලකුණු

ලියාපදිංචි කළ වෙළෙඳ ලකුණක් යනු නීතිය යටතේ සහ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කරන ලද ලකුණකි. ලියාපදිංචියක් නොකර වුවද  ඔබට වෙළෙඳ ලකුණක් භාවිතා කළ හැක.  ලියාපදිංචි නොකළ වෙළෙඳ ලකුණක් කූට නිදේශනයෙන් අසාධාරණ තරගකාරිත්වය නීතිය හෝ පොදු නීතිය යටතේ ආරක්ෂා කරනු ලැබිය හැකිය.

ලියාපදිංචි කළ යුත්තේ ඇයි ?

ඔබේ වෙළෙඳ ලකුණ ලියාපදිංචි කරන ලෙස ඔබට තරයේ ම නිර්දේශ කරනු ලැබේ. ලකුණක් ලියාපදිංචි කිරීම, එහි  හිමිකරුට එය උපයෝජනය කිරීමට, පාවා දීමට සහ බලපත්‍ර දීමට පරම අයිතිය ලබා දෙයි. සිවිල් අධිකරණය හෝ අපරාධ අධිකරණය හෝ අධිකරණ දෙකම හරහා ඔබට පහසුවෙන් හා සඵලව මෙම අයිතිවාසිකම් බලාත්මක කළ හැක. අන් අය ඔබගේ ලකුණ හෝ රවටනා සුළු අන්දමින් ඔබේ ලකුණට සමාන ලකුණක් භාවිතා කිරීමෙන් වළක්වාලීමට ඔබට හැකිය. හානි සදහා වන්දි ඉල්ලා සිටීමට ද ඔබට හිමිකම ඇත.

ලියාපදිංචි කළ හැකි ලකුණු

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 103 සහ 104 වගන්ති යටතේ ආවේශ්‍ය කළ නොහැකි නොවිය යුතු ලකුණු ලියාපදිංචි කිරීමට හැකිය. ලකුණක් ආවේශ්‍ය කල නොහැකි වනුයේ, උදාහරණයක් ලෙස භාණ්ඩ හෝ සේවා විස්තර වීම, ඔබේ භාණ්ඩ හෝ ‍සේවා අනෙක් ව්‍යවසායකයන්ගේ භාණ්ඩවලින් හෝ සේවාවලින් වෙන් කොට හඳුනාගත නොහැකි වීම හෝ එය දැනට ලියාපදිංචි කර ඇති හෝ ප්‍රකට වෙනත් ලකුණට රැවටෙන සුළු ආකාරයෙන් (නොමඟ යැවෙන සුළු) සමාන වීම වැනි හේතු වේ.

ලියාපදිංචි කිරීමේ පරිපාටියේ ගැලුම් සටහන

trademark-flowchart-Sinhala

ලියාපදිංචි වන්නේ කෙසේද ?

MI  ආකෘතිපත්‍රය භාවිතා කරමින් අයදුම්පත්‍රය සකස් කරන්න. අයදුම්පත්‍රය සම්බන්ධයෙන් කටයුතු කිරීම පියවර කිහිපයකින් සිදු කෙරෙනු ඇත නිල අවශ්‍යතා හා අනුකූල වවන්නේද යන්න හා පනතේ 103 සහ 104 වගන්ති යටතේ ආවේශ්‍ය කළ නොහැකිද යන්න සොයා බැලීම සඳහා ලකුණු පරීක්ෂා කරනු ලැබේ. බුද්ධිමය දේපළ කාර්යාලය විසින් එය ප්‍රතික්ෂේප කළහොත් ඒ තීරණයට එරෙහිව කරුණු දැක්වීමට හෝ ප්‍රතික්ෂේප කළ දිනයේ සිට මාසයක් ඇතුළත විභාගයක් ඉල්ලා සිටීමට ඔබට හැක. එය තවදුරටත් ප්‍රතික්ෂේප කළහොත්, ඔබට අධිකරණය හමුවේ එම තීරණය අභියෝගයට ලක් කිරීමට හැක. (වාණිජ මහාධිකරණය)

ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා ලකුණ පළමුව පිළිගනු ලැබේ. පළකිරීමෙන් පසුව විරෝධතා දැක්වීම සඳහා මහජනයාට මාස 3 ක කාලයක් ලබා දෙනු ලැබේ. යම් විරෝධතාවයක් වේ නම් බුද්ධිමය දේපළ කාර්යාලය එහි පිටපතක් අයදුම්කරු වෙත යවනු ලැබේ. විරෝධතාවය සඳහා වූ හේතුවලට එරෙහිව අයදුම්කරු සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. ඉන් අනතුරුව අවශ්‍ය නම්, අයදුම්කරුගේ සහ විරෝධතාකරුගේ සහභාගිත්වය ඇතිව විරෝධතාවය පිළිබඳ විමර්ශනයක් සිදු කරනු ලැබේ. විමර්ශනයෙන් පසුව ලකුණු පිළිගනු ලැබිය හැක. නැතහොත් ප්‍රතික්ෂේප කරනු ලැබිය හැක. එය ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, අයදුම්කරුට එම තීරණය අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැක. එය පිළිගනු ලැබුවහොත්, ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවීමෙන් පසුව ලියාපදිංචි කිරීම සිදු කරනු ඇත. (කරුණාකර පනතේ V වන කොටස  සහ  පනත යටතේ සාදා ඇති රෙගුලාසි බලන්න.)

ලියාපදිංචි විය හැක්කේ කාටද ?

ඕනෑම තැනැත්තෙකු හෝ සංස්ථාගත කළ හෝ නොකළ හෝ පුද්ගල මණ්ඩලයක් [තනි පුද්ගලයෙකු (පුද්ගලයින්), සමාගමක්, හවුල් ව්‍යාපාරයක්, සංගමයක් ආදී වශයෙන්]

ගාස්තු

කරුණාකර ගාස්තු උපලේඛනය බලන්න.

වලංගු කාලසීමාව සහ අලුත් කිරීම

ලියාපදිංචිය, ඉල්ලුම්පත්‍ර දිනයේ සිට වසර 10ක කාලසීමාවක් සඳහා වලංගු වන අතර  අදාළ ගාස්තුව ගෙවීමෙන් තවත් වසර 10ක කාලසීමාවක් සඳහා අලුත් කළ හැක. ගාස්තු සඳහා කරුණාකර ගාස්තු උපලේඛනයන බලන්න.

විදේශයන්හිදී ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද ලකුණු වලංගු වන්නේ ශ්‍රී ලංකාව තුළ පමණි. අයදුම්කරු වෙනත් රටවලත් ව්‍යාපාර කරන්නේ නම් ලකුණු එම රටවලද  ලියාපදිංචි කිරීම යෝග්‍ය වේ.  අදාල රටවල ජාතික නීතිය යටතේ අයදුම්කරු ආරක්ෂාව  පතන විටදී ඒ එක් එක් රටෙහිදී අයදුම්පත්‍ර ගොනු කළ යුතුය. (අයදුම්කරු ලකුණ ලියාපදිංචි කිරීමට අදහස් කරන සියලු රටවල් නම් කරමින් අයදුම්කරුට එක් ජාත්‍යන්තර අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ හැකි මැඩ්රිඩ් ක්‍රමවේදයේ ශ්‍රී ලංකාව සාමාජිකයෙකු නොවේ.) එසේවුවද, කාර්මික දේපළ ආරක්ෂා කිරීම සඳහා වන පැරිස් සම්මුතියේ සාමාජික රටවලදී ඔබට ප්‍රමුඛතාවය ඉල්ලා සිටිය හැක. (ශ්‍රී ලංකාව තුල අයදුම්පත්‍රය ගොනු කළ දින සිට මාස 06ක් ඇතුළතදී)

ව්‍යාපාර නාම

තැනැත්තකු තම ව්‍යාපාරය සිදු කරනුයේ යම් නාමයක් යටතේ ද, ඒ නාමය ව්‍යාපාර නාමය වේ. (අයදුම්කරුගේ  නම, හවුල් ව්‍යාපාරයේ නම ආදිය). බුද්ධිමය දේපළ පනත යටතේ ව්‍යාපාර නාම ආරක්ෂා කළ හැක. කෙසේ වෙතත්, එය ලියාපදිංචි කළ හැක්කේ ලකුණක් ලෙස පමණි. එබැවින් ව්‍යාපාර නාමය ලකුණක් ලෙස ලියාපදිංචි කිරීම උචිත වේ.

ලියාපදිංචි අනුයෝජිතයෝ

අයදුම්කරු වෙනුවෙන් ඉල්ලුම්පත්‍ර හෝ ලියාපදිංචි ලකුණු සම්බන්ධ ක්‍රියාකිරීමට හැකියාව ඇති සහ පේටන්ට් හෝ කාර්මික සැලසුම් වැනි වෙනත් ඕනෑම ඉල්ලුම්පත්‍රයක් සම්බන්දවත් ක්‍රියාකල හැකි ලියාපදිංචි බුද්ධිමය දේපළ අනුයෝජිතයෝ සිටිති.
(අනුයෝජිතයන්ගේ ලැයිස්තුව බලන්න)