බුද්ධිමය දේපළ යනු කුමක්ද ?

බුද්ධිමය දේපළ යන්නෙන් අදහස් වනුයේ මිනිසෙකු තම බුද්ධිය මෙහෙයවා කරනු ලබන නිර්මාණයන්ගෙන් මතුවන අයිතිවාසිකම් වේ.

  • නවකථා, කවි සහ නාට්‍ය, චිත්‍රපටි, සංගීතමය නිර්මාණ, පරිගණක වැඩසටහන්, දත්ත සමුදා, සිතුවම්, චිත්‍ර, ඡායාරූප සහ මූර්ති සහ වාස්තු විද්‍යාත්මක සැලසුම් වැනි ශාස්ත්‍රීය සහ කලාත්මක කෘති;
  • ප්‍රසාංගික කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම්, ‍ශාබිදික පටිගත කිරීම් හෝ තැටිගත කිරීම් සහ විකාශන‍;
  • නව නිපැයුම්;
  • කාර්මික සැලසුම්;
  • වෙළඳ ලකුණු, සේවා සලකුණු, වාණිජ නම් සහ තනතුරු නාම;
  • අසාධාරණ තරඟයට එරෙහිව ආරක්ෂාව සහ
  • සංයුක්ත පරිපථවල පිරිසැලසුම් නිර්මාණ, නව ශාක ප්‍රභේද (ශාක අභිජනනකරුවන්ගේ අයිතිවාසිකම්), භූගෝලීය දර්ශක සහ වෙළඳ රහස් ඇතුළුව හෙළිදරව් නොකළ තොරතුරුද ඇතුලත් කාර්මික, විද්‍යාත්මක, ශාස්ත්‍රීය හා කලා ක්ෂේත්‍රවල බුද්ධිමය කටයුතු ආශ්‍රිතව ඇතිවන සියලුම අයිතිවාසිකම් ආදිය මීට ඇතුලත් වේ.

බුද්ධිමය දේපළ සාම්ප්‍රදායිකව කොටස් දෙකකට බෙදේ. (I) නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර, වෙළඳ ලකුණු සහ සේවා ලකුණු. කාර්මික සැලසුම් සහ භූගෝලීය දර්ශක අන්තර්ගත කාර්මික දේපළ සහ (II) ශාස්ත්‍රිය හා කලාත්මක කෘති ආවරණය කරන ප්‍රකාශන අයිතිය ප්‍රාසාංගික කලාකරුවන්ගේ, ශාබ්දික පටිගත කිරීම් හෝ තැටිගත කිරීම් නිෂ්පාදකයන්ගේ සහ විකාශන සංවිධානවල අයිතිවාසිකම් සම්බන්ධිත අයිතිවාසිකම් හෝ සමීපස්ථ අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලැබේ.

බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අනෙකුත් දේපළ අයිතිවාසිකම්වල ගති ලක්ෂණ බෙදා හදා ගනියි. ඒවා හිමිකරගත හැක. අන්සතු කළ හැක. බලපත්‍ර හිමිකරගත හැක. පේටන්ට් බලපත්‍රයක, වෙළඳ ලකුණක හෝ ප්‍රකාශන අයිතියක නිර්මාපකයාට හෝ හිමිකරුවාට ඔහුගේ හෝ ඇයගේම වූ නිර්මාණාත්මක කාර්යයක ප්‍රතිලාභ ලැබීමට එමඟින් ඉඩ ලබා දෙයි. බුද්ධිමය දේපළ පිළිබඳ ජාත්‍යන්තර සම්මුති ගණනාවකින් මෙම අයිතිවාසිකම්  පිළිගෙන තිබේ.

බුද්ධිමය දේපළ ප්‍රවර්ධනය කර ආරක්ෂා කළ යුත්තේ ඇයි ?

මේ සඳහා ප්‍රබල හේතු කිහිපයක් තිබේ. මානව ශිෂ්ඨාචාරයේ  ප්‍රගතියේ සහ යහපැවැත්මේ පදනම වනුයේ මිනිසාගේ නිර්මාණශීලීත්වය යන්න ඒ අතුරින් ප්‍රමුඛ වේ. නිර්මාණාත්මක ප්‍රයත්න ආරක්ෂා කිරීම තවදුරටත් නිර්මාණ බිහිකිරීම දිරිගන්වයි. ආයෝජන ඉහළ නංවයි. තාක්ෂණ පැවරුම්  උත්තේජනය කරයි. ආර්ථික වර්ධනය වේගවත් කරයි. නව කර්මාන්ත හා රැකියා අවස්ථා නිර්මාණය කරයි. ජීවිතයේ ගුණාත්මකබව සහ ආස්වාදය ඉහළ නංවයි. ඒ අනුව, කාර්යක්ෂම සහ සාධාරණ බුද්ධිමය දේපළ පද්ධතියකට ආර්ථික, තාක්ෂණික, සමාජීය සහ සංස්කෘතික සංවර්ධනයට සඵලව දායක විය හැකිය. බුද්ධිමය දේපළ පද්ධතිය නිිර්මාපකගේ අයිතිවාසිකම් සහ පොදුවේ සමාජයේ අභිලාෂයන් අතර තුලනයක් පවත්වාගැනීමට උත්සාහ දරන අතර, එමගින් සෑම ක්ෂේත්‍රයකම මානව ක්‍රියාකාරකම්හි නිර්මාණශීලීත්වය සැමගේ යහපත සඳහා සාර්ථකව ඉදිරියට යා හැකි පරිසරයක් හඳුන්වා දෙයි.

ජාත්‍යන්තර වශයෙන්

එක්සත් ජාතීන්ගේ පද්ධතියේ විශේෂිත නියෝජිතායතනයක් වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට සියලු සාමාජික රටවල බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය පිණිස විධි නියෝග ලැබ තිබේ. මෙම සංවිධානය මඟින් බුද්ධිමය දේපළ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 26ක් පරිපාලනය කෙරේ. 2017 ජනවාරි 1 වන දිනට ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ සාමාජික රටවල් සංඛ්‍යාව 189 කි. එය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටා ඇති අතර එහි වෙබ් අඩවිය වනුයේ  http://www.wipo.int. වේ.

ඊට අමතරව, යුනෙස්කෝව ( ප්‍රකාශන හිමිකම් පිළිබඳ විශ්ව සම්මුතිය), ලෝක වෙළඳ සංවිධානය (බුද්ධිමය දේපළ අයිතිවාසිකම්වල වෙළඳාම ආශ්‍රිත අංශ පිළිබඳ ගිවිසුම - TRIPS ගිවිසුම) සහ නව ප්‍රභේද ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංගමය (නව ප්‍රභේද ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය) ආදී බුද්ධිමය දේපළ පිළිබඳ ඇතැම් ක්ෂේත්‍රයන් පරිපාලනය කරන අනෙකුත් ජාත්‍යන්තර සංවිධානද තිබේ.

ශ්‍රී ලංකාවෙහි -

ශ්‍රී ලංකාවේ වත්මන් බුද්ධිමය දේපළ පද්ධතිය පාලනය කරනු ලබන්නේ විවිධ ආකාරයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ ඒවායේ උපාර්ජනය, කළමනාකරණය සහ බලාත්මක කිරීම සඳහා විධිවිධාන සලස්වා ඇති 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මගිනි. ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පරිපාලනය සඳහා වගකිව යුතු එකම රජයේ ආයතනය වනුයේ මෙම නීතිය යටතේ ස්ථාපිත කර ඇති ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයයි.