කාර්මික සැලසුමක් යනු කුමක්ද ?

යම් භාණ්ඩයක අලංකරණ හෝ සෞන්දර්යාත්මක අංගය එයයි. එහි කිසිදු කෘත්‍යාත්මක ලක්ෂණයක් නොමැත. එය කිසියම් භාණ්ඩයක හැඩය බඳු ත්‍රිමාණ මෝස්තරයක් (සෙල්ලම් බඩුවක, බෝතලයක, ස්වර්ණාභරණයක, පුටුවක් ආදිය සඳහා වූ මෝස්තරයක්) හෝ රටා ‍හෝ රේඛා බඳු ද්විමාන මෝස්තරයක් (සුභ පැතුම් පතක් සඳහා වූ මෝස්තරයක්) විය හැක.

ආරක්ෂා කරනු ලබන සැලසුම්

සැලැස්මක් අලුත් නම් සහ යම් ගර්හනීය සැලසුමකින් සමන්විත නොවේ නම් හෝ සදාචාරයට, මහජන සාමයට හෝ මහජන සම්බන්ධතාවලට පටහැනි නොවේ නම් එවැනි සැලැස්මක් ආරක්ෂා කරනු ලැබේ. අලුත් කාර්මික සැලැස්මක් යන්නෙන් ඒ කාර්මික සැලැස්ම ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කළ දිනයට පෙර ලෝකයේ කිසිම ස්ථානයකදී මහජනයා වෙත ඉදිරිපත් කරනු නොලැබූ කාර්මික සැලැස්මක් අදහස් වේ.

ඒවා ආරක්ෂා කරනු ලබන්නේ කෙසේද ?

බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඒවා ආරක්ෂා කරනු ලැබේ.  ලියාපදිංචි කළ සැලැස්මක් වසර පහක කාලයක් සඳහා ආරක්ෂා කරනු ලබන අතර, එය වසර පහක් වූ අනුගාමී කාලසීමා දෙකකට අලුත් කරනු ලැබිය හැකිය. D 1 ආකෘතිපත්‍රය භාවිතා කරමින් පිළියෙල කරන ලද අයදුම්පත්‍රයක් අදාළ ගාස්තුව ගෙවා බුද්ධිමය දේපළ කාර්යාලයේ ගොනු කළ හැකිය. (රෙගුලාසි බලන්න.)

ID flowchartSinhala

අයිතිවාසිකම්

සැලැස්ම යොදා ගනිමින් භාණ්ඩ සෑදීම, භාවිතා කිරීම, අපනයනය කිරීම හා ආනයනය කිරීම ආදියේ අනන්‍ය අයිතිය සැලැස්මේ හිමියා සතු වේ.

ඒවා ආරක්ෂා කරනු ලබන්නේ ඇයි ?

කාර්මික සැලැස්මක් භාණ්ඩයක් ආකර්ෂණීය හා සිත්ගන්නා සුළු බවට පත් කරන අතර එමගින් වාණිජ වටිනාකම සහ අලෙවි කිරීමේ හැකියාව ඉහළ නංවයි. ආරක්ෂා කිරීම මගින් නිර්මාණකරුට සාධාරණ ලාභයක් සහතික කරන අතර  ආයෝජන ප්‍රවර්ධනය කරයි. කර්මාන්ත, කලා ශිල්පවල සහ හස්ත කර්මාන්තයේ නිර්මාණශීලීත්වය දිරිමත් කිරීම මගින් ඒවා ආර්ථික සංවර්ධනයට දායක වන අතර වාණිජ කටයුතු ව්‍යාප්ත කර වැඩි රැකියා අවස්ථා උත්පාදනය කරයි.

විදේශ ලියාපදිංචිය

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද සැලසුම් ශ්‍රී ලංකාව තුළ පමණක් වලංගු වේ. සැලැස්මේ හිමියා තම ව්‍යාපාර අනෙකුත් රටවලට ව්‍යාප්ත කරන්නේ නම් එකී සැලසුම එම රටවල ද ලියාපදිංචි කිරීම යෝග්‍ය වේ. අදාළ රටවල ජාතික නීතිය යටතේ  අයදුම්කරු ආරක්ෂාව පතන විටදී ඒ එක් එක් රටෙහි අයදුම්පත්‍ර ගොනු කළ යුතුය. කෙසේ වෙතත් එහි සාමාජික රටවල කාර්මික දේපළ ආරක්ෂා කිරීම සඳහා වන පැරිස් සම්මුතිය යටතේ ප්‍රමුඛතාව සඳහා හිමිකම් පෑමට හැකිය. (ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අයදුම්පත්‍රය ගොනු කළ දින සිට මාස 6 ක් ඇතුළත)