පේටන්ට් බලපත්‍ර  කුමකටද ?

පේටන්ට් බලපත්‍ර නව නිපැයුම් ආරක්ෂා කරන අතර  නව නිපැයුම්කරුවන්ට නව නිපැයුම්වලින් ඇති වන ප්‍රතිලාභ සහතික කර එමගින් නිර්මාණකත්වය සඳහා  දිරිගැන්වීම් ලබා දෙයි. තවදුරටත් නව නිපැයුම් දිරි ගන්වන අතර ආයෝජන ප්‍රවර්ධනය කරයි. මෙය ආර්ථික සහ තාක්ෂණික සංවර්ධනයට අනුබල දෙයි. දැනටමත් ප්‍රදානය කර ඇති පේටන්ට් බලපත්‍ර ලේඛන අලුතින් සොයාගත් තාක්ෂණ විස්තර කරන අතර, විමර්ශනය සඳහා ඕනෑම අයෙකුට ඒවා ලබා ගත හැක.

නව සොයාගැනීම් පිළිබඳව දැනුවත් වීමට, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ඉටු කිරීමට හා නව තාක්ෂණවේද භාවිතා කිරීමට අවශ්‍ය පර්යේෂකයන්ට, නව නිපැයුම්කරුවන්ට හා ව්‍යවසායකත්වයන්ට අවශ්‍ය වටිනා තොරතුරු ඒවායේ අන්තර්ගත වේ.

පේටන්ට් බලපත්‍රයක් යනු කුමක්ද ?

පේටන්ට් බලපත්‍රයක් මගින් රජය නව නිපැයුම්කරුට ඒකාධිකාරයක් පිරිනමයි. එනම් පේටන්ට් බලපත්‍රය මගින් එහි ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත්‍රය ගොනු කළ දින සිට විසි අවුරුද්දක කාල සීමාවක් සඳහා එම නව නිපැයුම සෑදීමෙන් භාවිතා කිරීමෙන් සහ විකිණීමෙන් අන් අය බැහැර කිරීමේ අයිතිය එම හිමිකරු සතු වේ.

පේටන්ට් හිමිකරුට එම පේටන්ට් බලපත්‍රය හිමි තාක්ෂණය භාවිතා කිරීමට, විකිණීමට හෝ බලපත්‍ර මඟින් පවරා දීමට හැකියාව ඇති අතර එමඟින් ආර්ථික ප්‍රතිලාභ අත්කරගත හැකිවේ.

නව නිපැයුමක් යනු කුමක්ද ?

නව නිපැයුමක් යන්නෙන් තාක්ෂණික විද්‍යා ක්ෂේත්‍රයේ නිශ්චිත ගැටලුවක් විසදීමට ව්‍යවහාරයෙහි ලා උපකාර වන, නව නිපැයුම්කරුවකුගේ සංකල්පනාවක් අදහස් වේ.

මෙය නිෂ්පාදිතයක් හෝ ක්‍රියාවලියක් විය හැකිය.

පේටන්ට් බලපත්‍ර ලබා දිය හැක්කේ කවරකටද ?

නව නිපැයුමක්(අ) අලුත් වීම(දැනට පවත්නා දැනුම තුළ නොදක්නා) (ආ) කාර්මික වශයෙන් යොදා ගත හැකි නම් (කෘත්‍යාත්මක සහ සක්‍රිය) (ඇ) නව නිපැයුම්කාරි පියවරයක් තිබේ නම්  (එම අදාළ ක්ෂේත්‍රයේ සාමාන්‍ය නිපුණතාවක් සහිත් අයකුට එම නව නිපැයුම් තුල ඇති තාක්ෂණික ඉදිරි පියවර හෝ වැඩි දියුණු කිරීම නොපෙනීම) එයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගත හැක. වලංගු බලපත්‍රලාභී නව නිපැයුමක් වැඩි දියුණු කිරීමකටද පේටන්ට් බලපත්‍රයක් ප්‍රදානය කළ හැක. නමුත් එය භාවිතයට ගනු ලබන අවස්ථාවේදී පළමු පේටන්ට් බලපත්‍ර හිමියාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ හැකියාවක් පවති.  එබැවින් භාවිතයට පෙර පළමු පේටන්ට් බලපත්‍ර හිමියා සමග සාකච්ඡා කිරිම යෝග්‍ය වේ.

පේටන්ට් බලපත්‍රයක් ප්‍රදානය කරන්නේ කෙසේද ?

නියමිත පී 1  ආකෘති පත්‍රය භාවිතා කරමින් බුද්ධිමය දේපළ කාර්යාලයට අයදුම්පත්‍රයක් යොමු කළ හැක.  (රෙගුලාසි බලන්න) හිමිකම් පෑම සහ නියමිත ගාස්තුව සමගින් නව නිපැයුම පැහැදිලිව හා මුළුමනින්ම විස්තර කරන ලේඛනයක් අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය. (රෙගුලාසි බලන්න) අන්තර්ජාතික සෝදිසි අධිකාරියක් විසින් පිලියෙල කරන ලද සෝදිසි වාර්තාවක් ඉදිරිපත් කිරීම හෝ  විකල්පයක් වශයෙන් අයදුම්පත්‍රය සෝදිසි වාර්තාවන් සදහා දේශීය පරීක්ෂකවරයෙකු වෙත යොමු කරන ලෙස බුද්ධිමය දේපළ කාර්යාලයෙන් ඉල්ලීමක් කිරීමට අයදුම්කරුට හැක.

අයදුම්පත්‍රය බුද්ධිමය දේපළ පනතේ අවශ්‍යතා සපුරන්නේදැයි බුද්ධිමය දේපළ කාර්යාලය විමර්ශනය කරනු ඇත. සෝදිසි වාර්තාව සමඟ අදාළ විධිමත් අවශ්‍යතා සපුරාලනු ලබන්නේ නම් පේටන්ට් බලපත්‍රය ප්‍රදානය කරනු ඇත. පේටන්ට් බලපත්‍රය ලබාදීමට පෙර නව නිපැයුම ප්‍රකාශයට පත් කරනු ඇත. (ජාත්‍යන්තර වර්ගයේ සෝදිසි වාර්තාවක් නොමැති විටදී)

patent flowchartSinhala

අලුත් කිරීම

ගොනු කළ දිනයේ සිට වසර 20 ක කාලයක් සදහා පේටන්ට් බලපත්‍රයක් වලංගු වේ. ගාස්තුවක් ගෙවීම මගින් ප්‍රදානය කළ දිනයේ සිට දෙවන වසර ඉකුත් වන දින සිට පේටන්ට් බලපත්‍රය වාර්ෂිකව අලුත් කර ගත යුතුය.(ගාස්තු ව්‍යුහය සඳහා රෙගුලාසි බලන්න)

පේටන්ට් බලපත්‍රයක් ලබා දිය නොහැක්කේ කවරකට ද?

  • අනාවරණය කර ගැනීම්‍, විද්‍යාත්මක සිද්ධාන්ත සහ ගණිත ක්‍රම
  • ශාක, සතුන්, ජාන සුසංයෝගී ක්ෂුද්‍ර ජීවීන්  නොවන වෙනත් ක්ෂුද්‍ර ජීවීන් සහ ජීව විද්‍යාත්මක සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් නොවන ශාක සහ සතුන් නිෂ්පාදනය සදහා වන අවශ්‍යයෙන්ම ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්
  • ව්‍යාපාර කටයුතු කිරීම, හුදු මනෝමය ක්‍රියා කිරිම හෝ ක්‍රීඩා කිරිම සදහා වූ යෝජනා ක්‍රම, රීති හෝ ක්‍රම
  • ශල්‍යකර්ම මගින් හෝ චිකිත්සාව මගින් මනුෂ්‍ය  හෝ සත්ව ශරීරයට ප්‍රතිකාර කිරීමේ ක්‍රම සහ මනුෂ්‍ය හෝ සත්ව සිරුරුවල සිදු කෙරෙන රෝග විනිශ්චය කිරීමෙහිලා ව්‍යවහාරික ක්‍රම
  • මහජන සාමය, සදාචාරය ආරක්ෂා කිරිම මානව සත්ව හෝ ශාක ජීවිත හෝ සෞඛ්‍යය ආරක්ෂා කිරිම හෝ පරිසරයට බරපතල හානි සිදුවීම වළක්වා ලීමට අවශ්‍ය නව නිපැයුම්

විදේශවලදී නව නිපැයුම් ආරක්ෂා කර ගන්නේ කෙසේද ?

පේටන්ට් බලපත්‍රයක් වලංගු වන්නේ එය පිරිනමන ලද රටේදී පමණි. කාර්මික දේපළ ආරක්ෂා කිරීම සදහා වන  පැරිස් සම්මුතියේ ශ්‍රි ලංකාව සාමාජිකයෙකු බැවින්, අදාළ රටේ ජාතික නීතිය යටතේ, පැරිස් සම්මුතියේ ඕනැම සාමාජික රටකදී තම නව නිපැයුම් සදහා ශ්‍රී ලාංකිකයන්ට පේටන්ට් බලපත්‍ර ලබා ගත හැක.  ලෝකයේ සෑම රටක්ම පාහේ මෙම සම්මුතියේ සාමාජිකයෝ වෙති. තම සාමාජික රටවල එම සම්මුතියේ කාර්මික දේපළ ආරක්ෂා කිරීම සදහා වන පැරිස්  සම්මුතිය යටතේ අයදුම්කරුට ප්‍රමුඛතාව සදහා හිමිකම් ඉල්ලා සිටීමට හැකි අතර, එයින් අදහස් වනුයේ වෙනත් සාමාජික රාජ්‍යයන්හි සිදු කරන තදනන්තර ගොනුකිරිම් වලදී පළමු ගොනු කිරීම් දිනයේ සිට බලපැවැත්වෙන සේ හිමිකම් ඉල්ලා සිටීමට හැකිවීමයි.

ජිනීවාහි පිහිටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් පරිපාලනය කරනු ලබන පේටන්ට් සහයෝගිතා ගිවිසුම (PCT) යටතේ අයදුම් කිරීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හැක. ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට තනි අයදුම්පත්‍රයක් ගොනු කිරීම මගින් ඔබට රටවල් ගණනාවක (පේටන්ට් සහයෝගිතා ගිවිසුමේ සාමාජික රටවල) පේටන්ට් බලපත්‍ර සදහා අයදුම් කළ හැක. ජාතික අයදුම්පත්‍ර ගොනු කිරිමට අයදුම්කරු අදහස් කරන රටවල් පේටන්ට් සහයෝගිතා ගිවිසුම් අයදුම්පත්‍රයේ නමෝද්දිෂ්ට කළ යුතය. පේටන්ට් සහයෝගිතා ගිවිසුම් අයදුම්පත්‍රය රටවල් ගණනාවක අයදුම්පත්‍ර කිහිපයක් ගොනු කරනවාට වඩා සරල පටිපාටියකි. පේටන්ට් සහයෝගිතා ගිවිසුම් අයදුම් පත්‍රයෙහි නමෝද්දිෂ්ට රටවල ගොනු කරනු ලැබු ජාතික අයදුම් පත්‍රයක බලපෑමම ඇත. (වැඩි විස්තර සදහා www.wipo.int වෙත පිවිසෙන්න.)